Friday, February 21, 2014

ගාඩිනියා ආදරේ..

ආපස්සට ඇවිදන් යද්දි..බොහොම පහසුවෙන් ඕනෑම කෙනෙක්ට මතක් කරනන් පුළුවන් ඇති..ජීවිතේ
මුලින්ම තමන් ඉන්දපු ගහ.

මම නම් ඉන්දුවේ ගහක් නෙමෙයි අත්තක්.කාත් කවුරුත් නොසලකන මහා දවාලටත් අන්ධකාර කණ්ඩිය පැත්තේ නොවටිනා මල් පිපුණු මල් වැටේ “අනේ මාව බලන්න එන්න “කියලා සුවද විහිදවපු ගාඩිනියා ගහක අත්තක්.

එයා මා එක්ක ආවා ගෙදර පිටිපස්සේ පුංචි මිදුලට.එතනත් හෙවණ හොදටම.ලුණු මිදෙල්ල ඇඹරැල්ල පොල් කොස් ගස් ඉර එළිය ඉරට්ටකටවත් එන්න නොදී බැදපු වියනක් යට.

ඒත් ..මට ඕනි වුනා මගේ ඇදට පේන තැනක එයා ඉන්න.

දුඹුරු පාට පස් කැටිති අතේ ගැවුණා මට තවම මතකයි.මිටි ජනේලේ,කිතුල් පොලු කූරු වල එල්ලිලා එබිලා මං බලන් ඉන්නවා එයා උස යනකම්.

හැමදාම මං වතුර බෝන කෝප්පෙන් එකක් එයාටත් වතුර පෙව්වා.

එකට ඇලිලා බදාගන එන නිවුන් දළු දෙකක් එනකම් බලා හිටියා.ඒ දළු කඩන්න ආස වුනේ නැහැ.
ඒ නිසා එයා මං වගේම කෝට්ටක් වගේ උස ගියා.

උසම උස ගාඩිනියා ගහක්.අන්තිමට බොහොම ඉක්මනට එයා මායා බෝංචි වැල වගේ අහස ඉක්මවා ගියා වගෙයි මට දැනුනේ.ගහ යට ඉදන් උඩ බැලුවම අහස පේනවා.

එතන මිටි කණ්ඩියේ පොල් මුල දිගේ නැගලා අත්තක් ඇදන් තමයි මල් කඩන්න වුනේ.හැබැයි වෙන කාටවත් නම් මල් කඩන්න තහනම්.

ඒත්..හැම උදේකම ජනෙල් වහලා තිබ්බත් හුළං කවුළු වලින් එයා සුවද එව්වා.මිටි ජනෙල් කවුළුවේ කිතුල් කූරු වල එල්ලිලා හැන්දෑවට හැන්දෑවට මං එයාට අහන් ඉන්න කථන්දර කිවුවා.

ගාඩිනියා.ඇයි එයා රෝස වලට වඩා බාල වෙන්නේ?රෝස මල් වලටත් වඩා එයා සුවදයි.පරවෙන්නෙත් නැහැ .දවස් ගානක් ඉන්නවා.ටික දවසක් යද්දි ලස්සන බටර් පාට වෙනවා.පෙති කඩා ඉහිරෙන්න්නැහැ.පිපුණු මලක් වගේමයි බිමට කඩා වැටෙන්නේ.එක පිට එකක් රවුමට රවුමට සිනිදු ඝනකම පෙති.

මං ආසයි ඒ එකට බදාගෙන ඉපදෙන නිවුන් කොළ වලට.බොහෝම ඉක්මනට කළු කොළ පාට වන.

ගාඩිනියා..එන්න ඉස්සර වගේම හවසට..මං කථන්දර කියන්න.
අහගන ඉන්නවද ඔයා.



"ඔයා මට වැදගත්..කාට නැතත්,
පාට පාට අරුමෝසම් කොයිතරම් මල් තිබුනත්..

ඒ බොහෝම පුංචි සන්දියේදි මං මුලින්ම ඉන්දපු ගහ ඔයා නිසා..


හරියට බාල බොළද වයසක ඉපදුණු ප්‍රථම ප්‍රේමය වගේ
 සුවදයි ඔයා හැමදාමත්..!“


Tuesday, February 18, 2014

සඳ දොර

(1 )මේ සද දොර මැවු සුන්දර සිතට පින්..!!!

මේ රවුම් ආරුක්කුව..! මගේ හිත හදිසියේ චමත්කාරයෙන් පිරෙව්වා..වනමල් පිපුණු,තුරු පත් පවා මල් රටා මැවු මේ  කවුළුවෙන්..පුංචි අඩිපාර..දිගේ මායා සිහින ලෝකයට හිමිහිට  ගෑටුවා.

කවුද හිතුවේ නමක් තියෙනා බවක්..මේ දොරට

සඳ වගේ රවුම් දොර .සඳ දොර..!!

දන්නවනේ, චිනයේ තාප්ප අපේ වගේ කොට බිත්ති නෙමෙයි.ගෙවල් තරම් උස.ඒ විතරක්ද තාප්පවලට උඵ හෙවිල්ලපු වහලකුත්.එයාලගේ ඒ තාප්පවල ගේට්ටු හරියට අපේ දොරවල් වගේ. නොතෙමෙන වහලක් යට දොරක්.





සඳ දොරේ අයිතිකාරයා  චීනය. චින සම්ප්‍රදායික ගෘහනිර්මාණ ශිල්පයේ උද්‍යාන දොරටුවක් විදියටයි ,මේ සඳ දොර මුලින්ම යොදා තියෙන්නේ. ඒ අයට අනුව නම් මේ සඳ දොරේ හැම ගඩොල් කැටයකට වගේම,සඳ දොරේ හැඩය අනුවත් විවිධ තේරුම් තියෙනවා.

චීනයේ මුලින්ම මේ සඳ දොරවල් යොදාගෙන තියෙන්නේ රජ සිටු මැතිවරු තමයි.පෝසත් ඉහළ පන්තියේ අය තමන්ගේ තත්වය පෙන්නන්න පසුකාලීනව සඳ දොර යොදාගෙන තියෙනවා.

 සඳ දොරකින් ඇතුල්වීම පාවඩයක් මතින් වඩම්මනවා, පා පලසක් එළා පිළිගන්නවා වැනි උසස් ගෞරවාන්විත පිළිගැනීමක්.අපේ සිංහල සම්ප්‍රදාය අනුව හරියට “වාහල්කඩ“ක් වගේ.

චීනයේ , ජපානය කොරියාව වගේ ළගපාත රටවල්වලට නම් මේ සඳ දොර ඉක්මනින්ම පෑයුවා.

බර්මියුඩා සද දොර
19 වෙනි සියවසේ අග භාගය වෙද්දි,බර්මියුඩාව මේ සඳ දොර “කොපි“කලා. ඒ වගේම අධිරාජ්‍යයා ,එංගලන්තෙත්. ඒ අයට ගෙවල් බිත්ති තරම් උස තාප්ප බැඳිල්ලක් නැහැනේ.මේ අය “සඳ දොර“ නිකම්ම නිකම් රවුමක් විදියට ,එහෙමත් නැතිනම් කෙටි බිත්ති තාප්පවලට යොදාගත්තා.
බර්මියුඩා සද දොර කියන කථා

දැන් නම් ලෝකේ පුරාම, උද්‍යාන අලංකරණයට වගේම ගෙවතු අලංකරණයටත් “සඳ දොර“ යොදාගන්නවා
නානාප්‍රකාර විදියට.

තාප්පයක පුංචි පිවිසුම් දොරක් විදියට.නිවසකට හෝ ගෙවත්තකට ඇතුල් වීමේ දොරක් විදියට.ගෙයක් ඇතුලත හෝ පිටත කොටසකින්, කොටසක් වෙන්කරන තැනකට, වගේම..නිකම්ම නිකම් ලස්සනටත්..සඳ දොරක් කොයිතරම් අපූරුද..